සැමට පෙර රටක් ! අපට සුභ අනාගතයක් !

 

 

සැමට සුභ නව වසරක් වේවා !

புதிய​ புத்தான்டு வாழ்த்துக்கள் !

වසර 2010 වෙත අප අද දින පා තැබුවෙමු. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අතිශයින්ම තීරණාත්මක වසරක් පසු කළ අපි බොහෝ දෙනෙකු දශක ගණනාවක් තිස්සේ මුහුණ දුන් සියළු ප්‍රශ්ණ විසඳුණේයැයි සතුටු වූයෙමු. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනයට පෙර කොටි ත්‍රස්‌තවාදයේ කුරිරු බිහිසුණු සහ ම්ලේච්ඡ අත්දැකීම්වලට මේ රටත්, මේ රටේ ජනතාවත් දශක තුනක් පුරා මුහුණදුණි. අප ඔබ කවුරුත් දන්නා ඒ ඉතිහාසය ඔබ වෙත අමුතුවෙන් මතක් කර දියයුතු නොවේ. ප්‍රචණ්‌ඩත්වයෙන් තොර සැබෑ තිරසාර සාමකාමී වාතාවරණයක්‌ පැවතීම රටක ඉදිරි සංවර්ධන ගමනටත් ආර්ථික වර්ධනයටත් අත්‍යවශ්‍ය සාධකයකි. එනයින්ම 2010 වර්‍ෂය වූ කලී අප රටේ ඉදිරි ගමනට ඉතාමත් තීරණාත්මක කඩඉම් වසරකි.

යුධමය වශයෙන් අපට ඉතා තීරණාත්මක වූ 2009 වසර අපට පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවලටත් සමස්‌ත ලෝක ආර්ථිකයටත් ආර්ථිකමය වශයෙන් දැඩි අභියෝගාත්මක වසරක්‌ වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ‌2010 වසර අපට තීරණාත්මක කඩඉම් වසරක්‌ ලෙස සඳහන් කරනුයේ දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ රටේ ජනතාවටත්, රටේ ආර්ථික සංවර්ධනයටත් තර්ජනකාරීවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කෙරුමෙන් අනතුරුව රටෙහි සංවර්ධන ක්‍රියාවලිය ඇරඹුම පිණිස ආර්ථිකමයද, සමාජීය, සංස්කෘතිකමය මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද ස්ථිරසාර කඩිනම් අඩිතාලමක් දැමියයුතු වසරක් බැවිණි.

එහෙත් මේ යුධ ජයග්‍රහණය අපට උදාකර දුන් සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතාත්, සේනාධිපති සරත් ෆොන්සේකා මහතාත් අද වනවිට එම යුධ ජයග්‍රහණයේ ගෞරවය වෙන්දේසි කරමින් ජනපති තනතුර වෙනුවෙන් යුධ වැදී එකිනෙකාට මඩ ගසා ගනිමින් සිටිති. ජනපතිවරණයෙන් කවුරුන් ජයගත්තද ජාතිය දෙකඩ වන්නාවූ මෙම ඡන්ද යුද්ධය කරනකොට දේශීයවද අන්තර්ජාතිකවද සිදුවන අහිතකර බලපෑම වැළැක්‌විය නොහැකි බව සක් සුදක් සේ පැහැදිළිය​.

සේනාධිනායකයාගේ පාර්ශවයෙන් තම සේනාධිපතියා දේශද්‍රෝහියකු ලෙසත්, සේනාධිපතියාගේ පාර්ශවයෙන් තම සේනාධිනායකයා චෞරයකු ලෙසත් අර්ථ විවරණය වනුයේ මෙවන් පසුබිමක් තුලය​.

මෙය සත්‍යයක්ද​? මෙයට රටවැසියන් ලෙස අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද​?

රාජ්‍ය ඇම්බැට්ටයන් පවසන පරිදි සෙන්පතිවරයා දේශද්‍රෝහියකුනම් ඔහු මෙතෙක් කල් එම ධූරයෙහි ඔහු රඳවා ගත්තේ මන්ද​? ඔහු ජනපතිධූරයට ඉදිරිපත් නොවූයේනම් ඔවුන් යුද්ධය අවසන්ව සයමසක් ගතවනතුරුද නොපැවසූ පවුලේ ආයුධ ගනුදෙනු කරළියට පැමිණේද? ආරක්‍ෂක ලේකම්වරයා පවසන පරිද්දෙන් සෙන්පතිවරයා දක්‍ෂයකු නොවීනම් ඔහු පුහුණූ කරනු ලැබූයේ ආරක්‍ෂක ලේකම්වරයාම විසින්ම නම් නාහෙට නාහන, ලිංගික අපචාරයන්හි (1975දී) යෙදුනායැයි පවසන සෙන්පතිවරයා වෙනුවට අනෙකෙකු නොයෙදවූයේ මන්ද​? කවුරුන් කෙසේ කීවද යුධ ජයග්‍රහණයෙහි සැලසුම් සම්බන්ධයෙන් (කුඩා කණ්ඩායම් ආදී) ඔහුගේ දායකත්වය ලඝුකළ හැකි නොවේ.

එනමුත් මෙය සෙන්පතිවරයාගේ පමණක් දායකත්වයෙන් සිදුවූවක්ද​? නාවික හමුදාව මගින් ත්‍රස්තවාදීන්ගේ ආයුධ සැපයුම් බිඳනොදැම්මේනම් යුද්ධයෙහි අවසන් අදියර මෙතරම්වත් පහසු වේද​? ගුවන් හමුදාව මගින් ත්‍රස්තවාදීන්ගේ මුල් පෙල ඉලක්කයන් විනාශ නොකරන්නට යුධ මෙහෙයුම් මෙතරම් පහසු වේද​? සේනාධිනායකයා විසින් ජාත්‍යන්තරය කලමනාකරණය නොකරන්නට යුද්ධයෙහි අවසන් අදියර යථාර්තයක් වේද​? සියලූම මාධ්‍යයන් විසින් කළ මෙහෙය අවතක්සේරු කළ හැකිද​? මේ සියල්ලටම වඩා සියලු දුක් ගැහැට ඉවසා වැදෑරූ, යුද්ධය සඳහා අත්‍යාවශ්‍යම පිරිස් බලය සැපයූ මහජනතාව කළ දායකත්වය අවතක්සේරු කළ හැකිද​?

එනමුත් සිදුවූයේ කුමක්ද​? යුද්ධය දිනූ වහාම එය සේනාධිනායකයාගේත්, ආරක්‍ෂක ලේකම්වරයාගේත්, සේනාධිපතිවරුන්ගේත් ජයග්‍රහණයක් බවට පත්කිරීම නොවේද​? ඉනිඳු ඔබ්බට ගොස් විජයග්‍රහණය ආනන්දීයකරණය කිරීමට තැත් කිරීම නොවේද​? යුද්ධය ජාතික විජයග්‍රහණයක් බවට පත් නොකළේ මන්ද? විජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත වටිනාකමක් ඇති ජීවිතය කැපකළ, ඉන්ඳ්‍රියයන් කැපකළ බහුතරයක්වූ සෙබල බලමුලු සඳහා නිසි ඇගයුමක් සිදුකළේද​? ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනාම සිහියේ තබාගත යුතු ප්‍රධානම කරුණවනුයේ මෙයයි. එහෙත් අද සිදුවනුයේ එයටත් වඩා පිළිකුල් සහගත ලෙසින් මෙම විජයග්‍රහණය තනි පුද්ගල ආශ්චර්‍යයක් බැව් පෙන්වීමට දෙදෙනාම මහන්සි ගැනීම නොවේද​?

අද වනවිට ගෞරවය බෙදාගැනීමේ ප්‍රයත්නය ඉනිඳු ඔබ්බට ගොස් ආරක්‍ෂක ලේකම්වරයා යුධ අපරාධ සඳහා උපදෙස් දුන්නේ යැයි ද​, සෙන්පත්වරයා හමුදා කුමන්ත්‍රණයක් සඳහා පිඹුරුපත් සැකසූයේයැයි ද එකිනෙකා හට චෝදනා කරනා පහත් මට්ටමකට වැටී ඇත්තේ ජාතියේ විජයග්‍රහණය සඳහා මින් අඩවසකට පෙර එක්ව ගමන් කල ඒ විරුවන්මද​? රටට ආලය කරන්නන් ලෙස මින් අඩ වසකට පෙර මොවුන් දෙදෙන වෙනුවෙන් ආවැඩූ බෝධිපූජා පැවැත්වූවන් හට මින් ගතහැක්කේ කාගේ පැත්තක්ද​? සිංහල ජාතිය දෙකඩ කරන්නාවූ මොවුන්හට සුලු ජනවර්ග සැබැවින්ම එකමුතු කල හැකිද​? යුධවාදී හා යුධ විරෝධීවූ සියලුම ජනකොටස් නියෝජනය කරන්නාවූ ප්‍රධානතම දේශපාලන බලවේගයන් අද වනවිට යුද්ධයේ නියමුවන් දෙදෙනා යටතට ගොනුවී සිටියදී ඔවුන් දෙපළ දේශප්‍රේමී හා දේශද්‍රෝහීන් ලෙස එකිනෙකා හට චෝදනා කිරීම කෙතරම් ඛේදජනකද​? ​

මැතිවරණයකට ඉදිරිපත්වීමට ඕනෑම පුරවැසියකු හට පරම වූ අයිතියක් ඇත​. එහෙත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වනුයේ නම් කළයුත්තේ අනුනට චෝදනා කිරීමද​? නැතහොත් තම දර්ශනය හෝ ප්‍රතිපත්තීන් ඉදිරිපත් කිරීමද​? මෙතෙක් මැතිවරණ සටන තුල ප්‍රධාන අපේක්‍ෂකයන් දෙපල වෙතින් අවලාද හා යුධ ජයෙහි අයිතිවාසිකම් මිස වෙනත් යමක් අසන්නට ලැබිණිද​? අවම වශයෙන් ඉදිරි තෙසතිය තුල හෝ අප ඒ සඳහා වාසනාවන්ත වේද​? මන්ද එක්ව ලත් ජයක් දෙදෙනාගෙන් එකෙකුට හෝ සින්නක්කරව ලියාදීමට අප තුල අදහසක් නොමැති බැවිනි. වැදගත්වනුයේ කළදෙය නොව අනාගතයේ කරන්නට යන දෙය පමණක්ම බැවිනි.

බේද භින්නව එකිනෙකා දෙස සැකෙන් බියෙන් බලනා ජනවර්ගයන් එකමුතුකොට එක් පවුලක් ගොඩනගනුයේ කෙසේද​? යන්තම් $ 2000 මට්ටමක ඇති අපගේ ඒක පුද්ගල ආදායම වර්ධනය කරනුයේ කෙසේද​? ඒ සඳහා සමස්ථ රටවැසියන් දායක කරගන්නේ කෙසේද​? නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන්නාවූ තිරසාර සාමයක් මෙම සෞභාග්‍යවත් භූමිය වෙත ගෙන එන්නේ කෙසේද​? අපට අදහස් අවැසි වනුයේ ඒ සඳහාය​. මට පෙර රට ගැන සිතන බව සාක්‍ෂාත් වන්නේද​, සුභ අනාගතයක් උදාවේයැයි සිතිය හැක්කේද එවිටම පමණකි!

Advertisements
Published in: on 2009 දෙසැම්බර් 31 at 8:16 ප.ව.  සැමට පෙර රටක් ! අපට සුභ අනාගතයක් !හි ප්‍රතිචාර වසා ඇත.